A/L වලට නෝට් ලියාගන්න Cornell Method
A/L පන්ති වලදී ටීචර්ලා හරි සර්ලා හරි එක දිගට පාඩම කියවගෙන යද්දී නෝට් එක ලියාගන්න එක ලොකු අභියෝගයක් නේද?. සමහරු ලැප්ටොප් වලින් ටයිප් කරනවා, තවත් අය හැම වචනයක්ම කොලේක ලියන්න ට්‍රයි කරනවා. ඒත් මේ ක්‍රම වලින් ඔයාගේ ඉගෙනීමට පාඩුවක් වෙන්න පුළුවන් කියලා ඔයා දන්නවද?
ලැප්ටොප් එකක ටයිප් කරද්දී අපිට ගොඩක් ඉක්මනින් ටයිප් කරන්න පුළුවන් වුණත්, ඒකෙන් වෙන්නේ ඇහෙන දේ ඒ විදිහටම කොපි කරන එක විතරයි. ඒකට අපේ මොළේ පාවිච්චි වෙන්නේ නෑ, ඒ වගේම පන්තිය වෙලාවේ Facebook වගේ දේවල් වලට අවධානය වෙනස් වෙලා distract වෙන්නත් තියෙන ඉඩකඩ වැඩියි.
මනෝවිද්‍යාත්මක පර්යේෂණ වලින් පවා හොයාගෙන තියෙන්නේ අතින් නෝට් ලියන එක ගොඩක් සාර්ථකයි කියලා. මොකද අතින් ලියද්දී ටයිප් කරනවට වඩා වෙලා යන නිසා, අපි අහන දේ තේරුම් අරගෙන, ලියන්න ඕන දේ සංවිධානය කරලා තමයි ලියන්නේ. මේකට කියන්නේ Active listening කියලා.
කෝනෙල් ක්‍රමය (Cornell Method) යනු කුමක්ද?
ඉතින් කොහොමද හරියටම නෝට් එකක් ලියාගන්නේ? මේකට තියෙන නියම ක්‍රමයක් තමයි කෝනෙල් විශ්වවිද්‍යාලයෙන් (Cornell University) හඳුන්වා දීපු 'Cornell Method' එක. ගොඩක් විශ්වවිද්‍යාල වලින් පවා ළමයින්ට මේ ක්‍රමය පාවිච්චි කරන්න කියලා උනන්දු කරනවා.
මේ ක්‍රමයට අනුව නෝට් ලියද්දී එක දිගට පේළියෙන් පේළිය ලියන්නේ නැතුව ඔයාගේ කොළේ කොටු 4කට බෙදාගන්න ඕනේ:
1. උඩම කොටස (The Top Box)
මේක ගොඩක් සරලයි. මෙතන පාඩමේ මාතෘකාව (Title) සහ දිනය ලියන්න.
2. වම් පැත්තේ තීරුව (Keywords & Questions)
මේකේ ලියන්නේ ප්‍රධාන අදහස් සහ ප්‍රධාන වචන (Keywords). උදාහරණයක් විදිහට ඔයා ඉගෙන ගන්නේ ගුරුත්වාකර්ෂණය ගැන නම්, වම් පැත්තේ තීරුවේ "ගුරුත්වාකර්ෂණය" කියලා හරි, "ගුරුත්වාකර්ෂණය යනු කුමක්ද?" වගේ ප්‍රශ්නයක් විදිහට හරි ලියන්න පුළුවන්. මේක විභාගෙට පාඩම් කරද්දී ඉක්මනින් කරුණු හොයාගන්න ගොඩක් උදව් වෙනවා.
3. දකුණු පැත්තේ ලොකු තීරුව (The Details)
මෙතන තමයි ඔයා විස්තර, අර්ථ දැක්වීම්, සමීකරණ (formulas), දින වකවානු සහ උදාහරණ වගේ දේවල් ලියන්නේ. පින්තූර අඳින එකත් පාඩම තේරුම් ගන්න සහ මතක තියාගන්න ගොඩක් හොඳ ක්‍රමයක්.
4. යටම කොටස (The Summary)
මේ කොටස ගොඩක් වැදගත්. පන්තිය ඉවර වුණාට පස්සේ, අද දවසේ ඉගෙනගත්ත වැදගත්ම දේවල් 4ක් හෝ 5ක් සාරාංශයක් විදිහට මෙතන ලියන්න. මේකට ටිකක් මොළේ වෙහෙසන්න වෙනවා, ඒත් හැම පන්තියක් අවසානයේදීම මේ සාරාංශය ලියන එකෙන් පාඩම සුපිරියටම මතක හිටිනවා.
A/L ගමනට ලොකු හයියක්!
විභාගෙට පාඩම් කරද්දී මේ ක්‍රමය මාරම ලේසියයි. මුළු නෝට් එකම කියවලා කාලේ නාස්ති කරන්න ඕනෙ නෑ, වම් පැත්තේ තීරුව දිහා බලලා ඉක්මනින් අවශ්‍ය කරුණ හොයාගන්න පුළුවන්.
ඊළඟ පන්තියේදී හරි, යූටියුබ් එකෙන් පාඩමක් බලද්දි හරි මේක ට්‍රයි කරලා බලන්නකෝ!. මුලින් ටිකක් අමාරු වුණත්, පුරුදු වුණාම මේක ඔයාගේ A/L ගමනට ලොකු හයියක් වේවි. Good Luck!