ලෝක ප්‍රසිද්ධ බෝගොඩ ලී පාලම (Bogoda Wooden Bridge)
ශ්‍රී ලංකාවේ තියෙන පැරණිතම ලී පාලම විදිහට සැලකෙන්නේ බදුල්ල දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙන බෝගොඩ ලී පාලමයි. මේ පාලම ඉදි කරලා තියෙන්නේ එකම යකඩ ඇණයක්වත් පාවිච්චි කරන්නේ නැතුව, ලී ඇණ පමණක් යොදාගෙන සම්පූර්ණයෙන්ම ලී වලින් විතරක් වීම මෙහි ඇති සුවිශේෂීම ලක්ෂණයක්.
බෝගොඩ පාලම පිහිටලා තියෙන්නේ බදුල්ලේ ඉඳලා කිලෝමීටර් 7ක් විතර බටහිරට වෙන්නයි. බදුල්ල-බණ්ඩාරවෙල පාරේ හාළිඇළ නගරයෙන් හැරිලා කිලෝමීටර් 11ක් පමණ ගිය පසු මේ ස්ථානයට යන්න පුළුවන්. මහවැලි ගඟේ අතු ගංගාවක් වෙන ගල්ලන්දා ඔය හරහා තමයි මේ අපූරු පාලම හදලා තියෙන්නේ.
මේ පාලම අවුරුදු 400කට වඩා පැරණි වන අතර එය 16 වැනි සියවසේ ඉදිකරන ලද්දක් බව කියැවේ. ඒ වගේම එය මහනුවර යුගයෙන් අපට ඉතිරිව ඇති එකම ලී පාලම ලෙසත් සැලකෙනවා. අතීතයේදී මහනුවර රාජධානියේ සිට බදුල්ල මුතියංගණ රජමහා විහාරය වැනි බෞද්ධ සිද්ධස්ථාන දක්වා ගමන් කළ වන්දනාකරුවන් මේ පැරණි මාර්ගය භාවිතා කරලා තියෙනවා.
පාලමේ නිර්මාණය ගැන බැලුවොත්:
-
•
පාලම මීටර් 15ක් පමණ දිගින් සහ මීටර් 1.5ක පමණ පළලින් යුක්තයි.
-
•
පාලමේ ප්‍රධාන ව්‍යුහය මීටර් 11ක් පමණ උසැති විශාල ගස් කඳක් මත ගොඩනගා ඇත. ජනප්‍රවාදයට අනුව මේ ලෑලි සියල්ලම ලබාගෙන තියෙන්නේ එකම ගහකින්.
-
•
පාලම හදන්න කොස් සහ කුඹුක් ලී බහුලව පාවිච්චි කරලා තියෙනවා.
-
•
දෙපස ඇති අලංකාර ලී කැටයම් සහ වැටවල් සඳහා කළුවර සහ මිල්ල ලී පාවිච්චි කරලා තියෙනවා.
තවත් සුවිශේෂී ලක්ෂණයක් වන්නේ මහනුවර යුගයේ ආභාසය පෙන්වන උළු සෙවිලි කළ වහලයක් පාලමට තිබීමයි. මේ වහලයේ උස මීටර් 2.4ක් පමණ වෙනවා. මෙලෙස වහලයක් සහිතව පාලම හදලා තියෙන්නේ, ගමන් ගන්නා අයට අව්වෙන් වැස්සෙන් බේරී වෙහෙස නිවාගන්න අම්බලමක් විදිහටත් මේ පාලම පාවිච්චි කරන්න අවශ්‍ය වුණු නිසා බව බොහෝ දෙනා විශ්වාස කරනවා.
බෝගොඩ රජමහා විහාරය සහ රහස් උමග
පාලම අසලම තියෙන බෝගොඩ රජමහා විහාරය, මේ පාලමටත් වඩා ගොඩක් පැරණියි. එය ක්‍රිස්තු පූර්ව 1 වැනි සියවසේ, එනම් අනුරාධපුර යුගයේදී වළගම්බා රජතුමාගේ කාලයේ ඉදිකළ එකක් බව ඉතිහාසයේ සඳහන් වෙනවා. ඉන්දියානු ආක්‍රමණිකයන්ගෙන් බේරී සිටීමට වළගම්බා රජතුමා මේ විහාරයේ තියෙන ස්වභාවික ගල් ගුහාවේ හැංගිලා හිටියා කියලා ජනප්‍රවාදයේ එනවා.
ඒ වගේම ගුහාව අසල තියෙන රහස් උමග, දෝව රජමහා විහාරයට සහ රාවණා ඇල්ල අසල ඇති රාවණා රජමහා විහාරයට සම්බන්ධ බවටත් ගම්වාසීන් අතර විශ්වාසයක් පවතිනවා. සමහරුන් විශ්වාස කරන්නේ මේ උමං මාර්ග වසර 4000කටත් වඩා පෙර රාවණා රජු විසින් නිර්මාණය කළ ඒවා බවයි.
මෙවැනි ඓතිහාසික හා වාස්තු විද්‍යාත්මක වටිනාකමකින් යුත් බෝගොඩ ලී පාලම, අපේ පැරැන්නන්ගේ තාක්ෂණික හා කලාත්මක හැකියාව මනාව පෙන්නුම් කරන අගනා නිර්මාණයක්.