පෘතුගීසීන් දණගැස්සූ ටිකිරි කුමරුගේ වික්‍රමය - මුල්ලේරියා මහා සටන
"මුල්ලේරියා වෙලේ වතුර ලෙයට හැරවුණා" යන ප්‍රකට කවියෙන් කියැවෙන්නේ 1562 වසරේදී සිදු වූ මෙම මහා සටන පිළිබඳවයි.
1562 වර්ෂය වන විට පෘතුගීසි ජාතිකයන් කොළඹ කොටුව ආශ්‍රිතව බලකොටු බැඳගනිමින් රටට විශාල තර්ජනයක් වෙමිනුයි සිටියේ. මේ කාලයේ කෝට්ටේ රාජධානියේ නීත්‍යනුකූල රජු ලෙස කටයුතු කළේ පෘතුගීසීන්ට හිතවත් දොන් ජුවන් ධර්මපාල රජතුමායි. කෙසේ වෙතත්, මේ වන විට ලංකාවේ ප්‍රබලතම රාජධානිය ලෙස සීතාවක රාජධානිය නැඟී සිටියා. සීතාවක රජකම් කළ මායාදුන්නේ රජුගේ පුත් ටිකිරි බණ්ඩාර කුමරු වයස අවුරුදු 12 සිටම යුද පිටියේ දස්කම් දැක්වූ අති දක්ෂ අශ්වාරෝහකයෙකු සහ අංගම් සටන් ශිල්පියෙකු වීම සීතාවක රාජධානියේ මෙම බලයට ප්‍රධානම හේතුව වුණා.
සීතාවක රාජධානියෙන් එල්ල වන තර්ජනය වටහාගත් කෝට්ටේ ධර්මපාල රජු සහ පෘතුගීසි හමුදාව එක්වී 1562 දී සීතාවක ආක්‍රමණය කිරීමට සැලසුම් කළා. ඒ අනුව ඔවුන් පළමුවෙන්ම මුල්ලේරියාවේ අඹතලේ ආසන්නයේ "හේවාගත වෙල" නමැති ස්ථානයේ කඳවුරු බැඳගත්තා. මේ බව දැනගත් ටිකිරි කුමරු දහදාහක පමණ සේනාවක් සහ කොරතොට ආරච්චිවරුන් ප්‍රමුඛ දක්ෂ අංගම් සටන්කරුවන් පිරිසක් සමඟින් යුද්ධයට සූදානම් වුණා. මෙහිදී සීතාවක රාජකීය හමුදාවේ ප්‍රධානියා ලෙස කටයුතු කළේ දක්ෂ අශ්වාරෝහකයෙකු mෙන්ම අංගම් ශිල්පියෙකු වූ ඒකනායක මුදලියි.
අගෝස්තු 23 වැනිදා එල්ල කළ හදිසි ප්‍රහාරය
1562 අගෝස්තු 23 වන දින අලුයම පහන් වන්නට හෝරා තුනක් පමණ තිබියදී, තම අංගම් ශූරයින් පිරිවරාගත් ටිකිරි කුමරුගේ හමුදාව හදිසියේම පෘතුගීසි කඳවුරට කඩා වැදුණා. තමන්ගේ තුවක්කුවලට උණ්ඩ දමා ගැනීමටවත් පෘතුගීසීන්ට අවස්ථාවක් ලැබුණේ නැහැ. ටිකිරි කුමරු අසු පිට නැඟී පෙරමුණේ සිටම දැඩි ප්‍රහාරයක් එල්ල කළ අතර කොරතොට සහ හේවාගම ආරච්චිවරු පසුපසින් පැමිණ නිර්දය ලෙස සතුරන්ට පහර දුන්නා.
පෘතුගීසීන්ට අඩියක් හෝ පස්සට ගැනීමට අවස්ථාවක් නොදුන් මේ බිහිසුණු සටනින් පරංගි භටයින් 1600ක් පමණ මිය ගිය අතර ඔවුන්ගේ සෙන්පති බැල්තසාර් ගෙඩිස් ද මරණයට පත් වුණා. මුල්ලේරියා වෙල්යාය පෘතුගීසීන්ගේ ලෙයින් රතු පැහැ ගැන්වී මහා ලේ ගංගාවක් ගලා ගිය බව ඉතිහාසයේ සඳහන් වෙනවා. මේ අවස්ථාවේදී දොන් ජුවන් ධර්මපාලගේ ස්වදේශික හමුදාව යුද පිටියෙන් පළා ගියා.
ඓතිහාසික සිහිවටන
-
•
කොටිකාවත්ත: සටන ජයග්‍රහණය කිරීමෙන් පසු සීතාවක හමුදාව මුල්ලේරියාව ආසන්නයේ කොඩි සිටුවමින් ජයග්‍රහණය සැමරූ ස්ථානය "කොඩිගහවත්ත" ලෙස හැඳින්වූ අතර අද මුල්ලේරියාවට ආසන්නව පිහිටා ඇති එය හඳුන්වන්නේ 'කොටිකාවත්ත' ලෙසයි.
-
•
රන්කඩු පත්තිනි දේවාලය: යුද්ධයට පෙර තමන් දැඩි ලෙස අදහන පත්තිනි මෑණියන්ට ටිකිරි කුමරු භාරයක් වී තිබුණා. යුද්ධය ජයගත්තොත් තමාගේ රන් කඩුව පුදා දේවාලයක් තනවන බවට කළ එම භාරය ඔප්පු කරමින් කඩුවෙල ඉදි කළ දේවාලය අදටත් ”රන්කඩු දෙවොල” හෙවත් රන්කඩු පත්තිනි දේවාලය ලෙස දක්නට ලැබෙනවා.